රාවණාගේ ලංකාපුර රාජධානිය, හෙළ, අසුර සංස්කෘතික අධිරාජ්‍ය වැනි වරදවා වටහා ගත් සාහිත්යම කරුණු බලෙන් ඉතිහාස ගතකරවීමේ ආශාවකින් පෙළෙන කිසිවෙකු ඒ සඳහා ශාස්ත්රීය පදනමකින් කරුණු එළිදක්වා නැත. ඇමරිකානුවා පිළිබඳ බිය මුසු ගෞරවයකින් "නූතන ඇමරිකානු පර්යේෂණ වල තොරතුරු බව කියමින් මූලාශ නැති ප්රවාද මගින් රාවණා ඓතිහාසික චරිතයක් කිරීමට ඇතැමුන් තැත් කරයි. ඒ මහතා රාවණා පුවත සනාත කරන්නේ ඇමරිකානු මානසික වහල් භාවයේ පිහිටෙන් මිස ශාස්ත්රීය තොරතුරු වලින් නොවේ. අටුවාචාරීන් - වංශකතා රචකයන් මිෂනාරීන්ගේ තත්ත්වයට දමා මහින්දාගමනයේ පිවිතුරු ගෞරවය කෙළෙසා දැමීමට රාවණා පාවිච්චි කිරීමද ඔවුුගේ සැබෑ ව්යාපෘතියයි. ඒ සඳහා බටහිර රටක සිට ඔහුගේ ඥති පුත්රයකු ද ලිපි මගින් හවුල් වෙයි. හෙළ - අසුර නමැති ලංකාව කේන්ද්රකරගත් මහා අධිරාජ්යයක තොරතුරු වැනසූ- වසං කළ (මධ්යතන යුගයේ පූජකවරුන්ගේ තත්ත්වයට) පිරිසක් ලෙස ශ්රී ලංකාවේ වංශකතා කරුවන් හඳුන්වා බෞද්ධ ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරු වෛරයට ලක්කිරීම ඔවුන්ගේ ව්යපෘතිය බව පෙනෙයි.
නමුත් පැහැදිලිවම හෙළ - අසුර ලෙස ජනතාවක් අතීතයේ කිසිම දිනක මෙරට සිටියේ නැතිබව කීමට ප්රමාණවත් සාක්ෂි ඇත. "රාමායනය" ආර්යයන්ගේ සාහිත්‍ය කෘතියකි. ආර්ය ජනයා ක්රි. පූ. 1500 ආසන්න කාලයේ දී ඉංදියාවට ඇතුල් වූ සංක්රමණ ජනතාවකි. (බලන්න, 2009, නොවැ. 18 දින ආර්යයන්ගේ මුල් බිම සොයා යැම, බදාදා අතිරේකය.)
ආර්ය ජනයා ග්රීසියේ සහ ඉංදියාවේ ව්යාප්ත වූ පසු ඔවුන්ගේ ගෝත්රයේ වීරයන් පිළිබඳ පද බඳින ලද වීරකාව්යද ජනප්රිය කළේය. හෝමර්ගේ "ඉලියඩ් හා ඔඩිසි" වීරකාව්‍ය දෙකක් "මහා භාරතය හා රාමායනයත් කතා සාරය අතින් ඉඳුරා එක සමානය. මේ සමානකමට හේතුව වීරකතා යුගලම ආර්යන්ගේ එකම කතාවකින් ගොතනලද නිසාය.
"රාමායනය" ලියූ හින්දුන්ගේ සහ "ඔඩිසි ලියූ ග්රීකවරුන්ගේ අතීත මුතුන් මිත්තන් එම රටවල් වලට (ඉන්දියාවට - ග්රීසියට) සංක්රමණය වීමට පෙර එකම ජනතාවක් ලෙස උතුරු සුළු ආසියානු ප්රදේශයක ජීවත් වී තිබේ. එලෙස ජීවත් වූ තැන මාතෘ ආර්ය භූමිය ලෙස හඳුන්වයි. එම මාතෘ ආර්ය භූමියේ දී ගෙතූ වීරකතා දෙකකින් "රාමායණය" සහ "මහාභාරතය" සකස් කරගෙන ඇත. (රාවණා සහ වීරකාව්‍ය ඉතිහාසය, 2009 සැප්- 23 බදාදා අතිරේකය" බලන්න)
එම නිසා රාමායනයෙන් නිරූපනය වන්නේ ඉන්දීය ඉතිහාසය නොව මාතෘ ආර්ය භූමියේ වීරකතා ප්රපංචයකි. "වාල්මිකි" එය ඉන්දියානුකරණයට ලක්කර ඇත. එම නිසා ලංකාවේ රාවණා රාජධානියක් සෙවීම කෙසෙල් ගසක පතුරු ගලවා අරටුව සෙවීම වැනි ක්රියාවකි.
මහින්දාගමනයෙන් පසුව ලියූ ශිලා ලිපිවල ඇති "රාවණා" "රාමා" ආදී සාමාන්‍ය මිනිසුන්ගේ නම් රාමායණය සනාථ කිරීමට යොදා ගැනීම මොවුන් පුරාවිද්යා සාධක සපයන ක්රමයයි. රාවණා, බුදු දහමට අනුග්රහය දැක්වූ බව රාමායනයේ කිසිදු තැනක නැත. රාමායනය ලියවී ඇත්තේද බුද්ධ කාලයට සියවස් ගණනාවක් ඈතදී බව එයින් නිරූපනය වන රාජ්යවල සහ රජවරුන්ගේ නම්වලින් පෙනෙයි. තවද රාමායනයෙ ඊට වඩා පැරණි මහා භාරතයේ අතුරු කතාවකි. මහා භාරතයෙන් නිරූපනය වන්නේ ක්රි. පූ. 800 ආසන්න කාලයකි. ඊට හේතුව ක්රි. පූ. 6 වන සියවසෙන් මෙහා ඉතිහාසයට අයත් පාටලීපුත්රය ඇතුලු සොළොස් මහා ජනපද වල විස්තර සහ ඒවායේ රජ පරම්පරා, කිසිවක් මහා භාරතයේ සඳහන්ව නැත. මේ නිසා මහා භාරතය සහ එහි අන්තර්ගත රාමායනය ක්රි. පූ. 6 වන සියවසට වඩා ශතවර්ෂ ගණනාවක් ඈතකදී පද්යයට නංවා ඇති බව නිසැකය. එබැවින් ක්රි. පූ. 800 ආසන්න යුගයකදී මහා භාරතය පද්යට නංවා ඇතැයි සැළකේ. මේ නිසා මහා භාරතය ලියූ යුගයට වඩා සියවස් දෙකකට පසුව ජීවත් වූ බුදුන් වහන්සේට හෝ භික්ෂූන්ට රාවණා රජු ලෙන් පූජා කළ බව කියන සූරිය ගුණසේකර මහතාගේ අදහස මොළේ කළඳක් හෝ ඇති අයෙකු පිළිගන්නේ නැත.
ඉතිහාසයේ මොනම ක්රමයකින් හෝ යක්ෂ හෝ හෙළ නැමති ජනතාවක් ලංකාවේ නොසිටි බව කිව හැකිය. මෙරට යක්ෂ හෝ අසුර රාජධානියක් තිබුනේ නම් වීභීෂණ ගේ යුගයෙන් පසු එය අඛණ්ඩව පැවතිය යුතුය.
මෙරට ස්වාධීනව උපන් උසස් සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක් තිබුණ බවට හෙළ හවුලේ ඇතැම් වියතුන් අදහස් කරති. රාමායනය සත්‍ය ඉතිහාස සිදුවීමක් ලෙසත් ඔවුහු විශ්වාස කරති. සූරිය ගුණසේකර මහතා වැනි ඇතැම් විද්වතුන් ලෝකයටම ශිෂ්ඨාචාර සහ සංස්කෘතීන් බෙදා දුන් හෙලයන්ගේ ආදි ශිෂ්ඨාචාරයක් පිළිබඳව මතයක් පවා ඉදිරිපත් කරයි. මෙය තේරුම් ගැනීමට ආවේගවලින්ද මමත්වයෙන්ද බැහැරව, ලෝකය පුරා සංස්කෘතීන් - ශිෂ්ඨාචාර පහළවීමට හේතු වූ කරුණුවල පොදු සමානකම් වෙන් කරගනිමු. අනතුරුව ඒවා ශ්රී ලංකාවට ආදේශ කළ හැකිද යන්න බැලිය යුතුය. එවිට අඩුතරමින් මහා සංස්කෘතියක් ඇති වීමට හේතුවන පසුබිමක් මෙරට තිබුණු නොතිබුන බව හෝ උපකල්පනය කළ හැකිය. ලොව පැරණිම මහා ශිෂ්ඨාචාර පිහිටි භූමිවල පිහිටීම හා භෞතික සම්පත් පදනම් කරගෙන ඒවා ඇති වූයේ යම්සේද, ශ්රී ලංකාව තුළද ඒවාට සමාන ශිෂ්ඨාචාරයක් ඇති වීමට තුඩුදෙන භෞතික සම්පත් සහ භූගෝලීය පිහිටීමක් තිබේද? විශේෂයෙන් භූගෝලීය - දේශගුණික සහ ආර්ථික පදනමේ පොදු සමානකම් ශිෂ්ඨාචාර ඇති වීමට පොදුවේ බලපායි. ලොව පැරණිම මහා ශිෂ්ඨාචාර හතරවූ මිසර, බැබිලෝනියා, හොවැංහෝ, හරප්පා ශිෂ්ඨාචාර පහළ වූයේ මහාගංඟාධාරවලින් සමන්විත විශාල ගොඩබිම්වල මිස දූපත්වල නොවේ. නිරන්තරව එම භූමි වලට අලුත් අලුත් ජන සංක්රමණ සිදු වෙයි. එය හේතු කොට ගෙන නව අදහස් එකතු වෙයි. එම නිම්නවල ධාන්යය සරුවට වැඩී, අතිරික්ත ධාන්‍ය එකතුවිය. ධාන්‍ය සරුවට වැඩෙන සමභූමියේ ජනගහනයද ශීඝ්රයෙන් වැඩිවෙයි. එවිට ඇතිවන ආගමික සංස්කෘතික ගැටලු නව සංකල්ප නිර්මාණයට හේතුවෙයි. එම නව සංකල්ප අවට දූපත් සහ කඳුකර ප්රදේශ වෙත ප්රවාහනය වෙයි. ශ්රී ලංකාවෙහි ස්භාවික පිහිටීම අනුව, මහා ගොඩබිම් සියල්ලෙන් දුරස්ථ හුදෙකලා දූපතකි.
මෙබඳු හුදෙකළා දූපත් වල ස්වාධීන මහා ශිෂ්ඨාචාරයක් ගොඩ නැගීමට අවශ්‍ය සංකල්ප දියුණු වන පරිසරයක් ඇති නොවේ. මෙම පිහිටීම බුද්ධිමය සංකල්ප දියුණු වීමේ ඉඩකඩ ස්වාභාවිකවම අඩු කරයි. ලෝකය පුරා ලංකාව වැනි දූපත් වල සංස්කෘතීන් - ශිෂ්ඨාචාර පහළවීමට තුඩුදුන් හේතුව වූ අසල්වැසි මහා ගංඟාධාරවල ඇසුරයි. ක්‍රීට් දිවයින මේ සඳහා ඇති හොඳම උදාහරණයකි. ශ්රී ලංකාවේ ස්වාභාවික පිහිටීම මිසර , බැබිලෝනියා, හොවැංහෝ, හරප්පා වැනි ශිෂ්ඨාචාරවලට පදනම් වූ භූගෝලීය තත්ත්වය හා ගැලපෙන්නේද නැත. නමුත් ප්රමාණවත් පුරාවිද්යාත්මක සාධක ඇතිනම් මේ නොගැලපීම නොසැලකිය හැකිය. අවාසනාවකට මෙන් මේ දක්වා එවැනි සාධක හමු වී නැත. රාවණා යුගයේ පුරාවිද්යාත්මක ස්ථාන ලෙස ඉදිරිපත් කරන සාධක කනගාටුදායක ලෙස අනුරාධපුර යුගයට හෝ ඊටත් පසුකාලයට අයත් ඒවාය.
ක්රි.පූ. 10000 වන විටත් ශ්රී ලංකාව හුදෙකලා දූපතකි. මහාශිෂ්ඨාචාර හතරම විනාශ වී අවසන්ය. රාමායනය රචනා කර ඇත්තේද මහාශිෂ්ඨාචාර හතරම විනාශ වූවාට සියවස් ගණනකට පසුවයි. එබැවින් රාමායනයේ චරිත සහ මහාශිෂ්ඨාචාර අඩුතරමින් සමකාලීනවත් නැත. ක්රි. පූ. 900 අයත් ශ්රී ලංකාවෙහි ඇත්තේ මහාශිලා යුගයේ අපර භාගයට අයත් සංස්කෘතියකි. බලංගොඩ මානවයාගේ සිට ක්රි. පූ. 900 වන තෙක් අඩුතරමින් සංවිධානාත්මක මානව ජනාවාස පිළිබඳ සාධක හෝ ශ්රී ලංකාවේ නැත. මෙම තත්ත්වය රාවණාගේ ඓතිහාසික බව සනාථ නොකිරීමට ඇති ප්රබලම සාධකයකි. ඇතැම් විද්වතුන් ලෝකයටම ශිෂ්ඨාචාර සහ සංස්කෘතීන් බෙදා දුන් හෙළයන්ගේ ශිෂ්ඨාචාරය සඳහා සීතා එළිය, වාරියපොල වැනි ප්රදේශ පවා සඳහන් කරයි. ක්රි.පූ. 900 තෙක් ශ්රී ලංකාවේ මානව ජනාවාස වල තත්ත්වය පෙන්වා දුන් විට ඔවුන් රාවණා රාජධානිය මුහුදට ගිලා බැස ඇති බව කියා ප්රශ්නය මඟ හැර යයි. මින් පෙනෙන්නේ හෙළ රාජධානිය පිළිබඳව කතාකරන විද්වතුන් කල් තබා සකස් කරගත් නිගමනයක් සනාථ කිරීමට පදනම් විරහිත සාධක ඉදිරිපත් කරන බවයි. ක්රි. පූ. තුන්වන සියවසේ සිට ක්රි. ව පළවන සියවස තෙක් එක්දහස් පන්සීයකට අධික ශිලා ලිපි ලංකාව පුරා පුළුල් ව්‍යාප්තියක් සහිතව පැතිරී ඇත. ඒවායේ නොයෙක් ජාතීන් ගණනාවකගේ නම් සඳහන්ය. ඒවා නම්, ආර්ය (AY - IC No 550), කාම්බෝජ (Kambojhiya IC . 553) දෙමළ (Dameda - IC . 356), පාණ්ඩ්‍ය (Pandu Vasa - IC . 1215), බ්රාහ්මණ (Bamana - IC . 124), මෞර්ය (Meraya - IC. 783), වඡ්ජි (Ojhaka - IC . 642), මුරුඩ (Muruda - IC.) යන ජාතීන්ය රාමායනයේ සටහන් අනුව රාවණා රාක්ෂ ජාතිකයෙකි. මීට අමතරව වංශකතාවල යක්ෂ, නාග, දේව, රාක්ෂ ලෙස වෙනම ශ්රී ලංකාව පාලනය කළ ජනවර්ග හතරක් පිළිබඳ ඇතැමුන් කතා කළත් කිසිම ශිලා ලේඛනයක එබඳු ජනවර්ග හතරක් තහවුරු නොවේ. මීට හේතුව යක්ෂ, නාග, දේව, රාක්ෂ ලෙස ජනවර්ග හතරක් නොසීටීමද? නමුත් රාවණා යුගයේ සිටි මෙම යක්ෂ, නාග, දේව,රාක්ෂ යන සිව් ජාතීන්ගේ එකතුව "සිව්හෙළය" බවත් පසුකාලීනව සිව්හෙළය බවට පත් වූ බවත් හෙළහවුලේ ඇතැම් උගතුන්ගේ මතයකි. එයට ඉතිහාස පදනමක් තිබේද?
ඇත්ත වශයෙන්ම "සිව්හෙළය" නමැති ඉපැරණි වචනයක් පසුකාලීන නූතන වචනය වූ "සිංහළය" සකස් වීමට හේතු වීද? එසේ වී නම් සිව්හෙළය, සිංහලය ලෙස පරිනාමය වීම පිළිබඳ මුල් වචනය හා නූතන වචනය අතර මැද අවස්ථාද තිබිය යුතුය. නමුත් පැරණි ප්රාකෘත ශිලා ලිපියක හෝ සාහිත්‍ය කෘතියක එබඳු සාධක හමුවී නැත. විශේෂයෙන්ම සිංහලය වෙනුවට සිව්හෙළය භාවිත කළ බවටත් සාධකයක් නැත. යම් සේ සිව්හෙළයේ පරිනාමයකින් සිංහලය ඇති වී නම් මේ වන විට ජනප්රිය ව්යවහාරයෙන් පරිනාමයට මුල්වූ "සිව්හෙළය" අභාවිත වී ද තිබිය යුතුය. විශේෂයෙන්ම වාග් විද්යාවේ "අභ්යන්තර ප්රතිනිර්මිති" (Internal reconstruction) සහ තුලනාත්මක විධිය (Comparative Method) වැනි පිළිගත් සිද්ධාන්ත අනුව සිව්හෙළය හා සිංහලය අතර පරිනාමීය අවස්ථා සඳහා සාධක නැති බැවින් මේ මතය පිළිගත හැකි තත්ත්වයක නැත.
"සිව්" සහ "හෙළ" යන වචන දෙක සන්ධි වී "සිව්හෙළය" හැදෙයිද? "සිව්" යන සංස්කෘත භාෂාවේ වචනය අදත් එදත් අංක ගණිතයේදී මිස "සිංහ" නම් සිව්පා සතෙකු සඳහා හෝ ජාතියක් සඳහා හෝ භාවිත නොකරයි. අතීත භාවිතාවන්ද නැත. නමුත් "සිංහ" යන්න වෙනම ප්රතාපවත් සිව්පා සතෙකු සඳහා එදත් - අදත් භාවිතා කෙරේ. සිංහල ජාතියේ සංකේතය ලෙස සිංහ රූපයක් භාවිතා කිරීම තුළින්ම සිව්හෙළය සිංහලය වීම ප්රතික්ෂේප කළ හැක. "හෙළ" යනුවෙන් වෙනම භාෂාවක් හා උසස් ප්රාග් ආර්ය ජාතියක් පිළිබඳවද වැදගත් මතයක් නිතර සාකච්ඡා කරයි. ඒ අනුව මෙම හෙළ භාෂාව ආර්යන් ඒමට පෙර මෙහි සිටි ජනතාවගේ භාෂාව ලෙස සැලකේ. ඔවුන් හෙළ භාෂාව රාවණා යුගය තෙක් දුරාතීතයක් කරා යොමු කරයි. මෙම "හෙළ" යන වචනයේ සැබෑ අරුත කුමක්ද? මේ සඳහා දැනට ඇති පැරණිම සාධක අනුව බ්රාහ්මී ලේඛන වලත්, සීගිරි ගී වලත් "හෙළ" යන වචනය භාවිතාකළ පැරණිම සාධක හමුවිය. සීගිරි ගී සහ බ්රාහ්මී ලිපි අනුව එහි අරුත මෙසේය.
1. හෙළ - පර්වතය (පරණවිතාරණ, සෙනරත්, සීගිරි ගී අංක 73)
2. හෙළ - සිංහල / සිහල (පරණවිතාන, සෙනරත්, සීගිරි ගී අංක 293)
3. හෙළ - ආලෝකය/ පැහැදිළි කිරීම (පරණවිතාණ, සෙනරත්, සීගිරි ගී අංක 439)
4. හෙල් - ශ්වේත / සුදු (පරණවිතාන, සෙනරත්, සීගිරි ගී අංක 537)
5. හෙල්දිව - සිංහල ද්වීපය (E ZZ, 1.20 - 12)
(උපුටා ගැනීම, සෙල්ලිපි වදන් අකාරාදී - මහාචාර්ය - සිරිමල් රණවැල්ල මහතා)
සීගිරි ගී සහ බ්රාහ්මී ලිපි අනුව හෙළ යන්න ඉහළ, ආලෝකමත්, පිරිසිදු වැනි අරුතක් දෙන නාම විශේෂණයක් ලෙස භාවිතා කර ඇත. පසුව හෙල්දිව වැනි වචනවල, "දිව" (දිවයින/ දූපත) යන වචනයේ මුලට "හෙළ" යොදා ඇත්තේ "උසස්/ පිවිතුරු දූපත" යන අරුතිනි. එය කවි සිතිවිල්ලක් මිස රටේ නම නොවේ. මේ නිසා "හෙළ" නාම විශේෂණ පදයකි. සිංහ සහ හෙළ එකතුවීමෙන් (සිංහල ++හෙළ) සිංහල සෑදුන බව ඇතමෙකු අදහති. නමුත් "හෙළ" නාම විශේෂණයක් නිසා "සිංහ" නම් නාම පදයට පසුව "හෙළ" නම් නාම විශේෂණය යෙදීම පිළිගැනීමට අසීරුය. මන්ද සිංහල භාෂාවේ නාම විශේෂණය ප්රකෘති ස්වභාවයෙන් නාම පදයේ මුලට යෙදීම සාමාන්‍ය ක්රමයයි. මෙතැන එය රීතියට පටහැනිය. එම නිසා සිංහ යන වචනයේ අගට හෙළ එකතුවීම වාග් විද්යාත්මකව හෝ ව්යාකරණ රීති අනුව හෝ පිළිගත නොහැක. "සිව්හෙළය" නමැති වදන ඇත්ත වශයෙන්ම සිංහලයටද වඩා පසු කාලීනව නූතන භාවිතයට හෙළ හවුල හඳුන්වා දුන් වචනයකි. වඩා අලුත් එකින් වඩා පැරණි එක හැදුන බව කීම ශාස්ත්රීය නැත. "සිව්හෙළය" වඩා අලුත් එකය. "සිංහලය" වඩා පැරණි එකය. යම් හෙයකින් "සිව්හෙළය" සිංහල බවට පත්වීම කියයි නම් එය, දුවගෙන් අම්මා උපන් බව කීමකි. මෙලෙස හෙළ ජාතියක පුරාණ පැවත්ම බිඳවැටීමට සමාන්තරව රාවණා පුරාවෘත්තය සහතික කිරීමට අවශ්‍ය භාෂා පදනමද බිඳ වැටෙයි.
ලලීන්ද්‍ර සන්නස්ගම.
Gggggggggggggggggggggggggggggggggggg
කාශ්යප රජු පීතෘ ඝාතකයෙක්ද?
ලොව අටවන පුදුමය ලෙස සලකන සීගිරිය ඉදිකළේ කුමන අරමුණකින්ද යන ගැටලුව බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක්විය. සීගිරිය පිළිබඳ පුරාවිද්යා විශේෂඥයකු වූ සෙනරත් පරණවිතාන මහතා මේ ගැටලුව විසඳීමට ශාස්ත්රීය පර්යේෂණ රැසක් කළ අයෙකි. එතුමා මේ ගැටලුව විසඳුවේ සීගිරිය ආලකමන්දාවක් මිස බලකොටුවක් නොවන බව කීමෙනි.
පරණවිතාන මහතා මේ මතය මුලින්ම ඉදිරිපත් කළේ ක්රි.ව. 1950 මාර්තු 10 දින රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ දේශනයකදීය. එම දේශනයේ මාතෘකාව වූයේ "දෙව්රද විමනක් වූ සීගිරිය" (Sigiriya the Adobe of a God-King) නම් විය. මේ මතය සනාථ කිරීමට සාහිත්යමය සහ පුරාවිද්යා සාධකද ඉදිරිපත් කළේය. අතීතයේ මහා ඉදිකිරීම් කුමක් හෝ ආගමික පදනමක් මත පිහිටා නිර්මාණය කිරීම පොදුවේ දැකිය හැකිය. ආලකමන්දා සංකල්පය හිංදු ආගමික සංකල්පයකි. වෛදික සාහිත්යයේ එය විස්තර කර ඇත්තේ මෙසේය.
"කෛලාසය යනු මානසවිලට උතුරින් පිහිටා ඇති පර්වතයකි. ඒ මත කුවේරයාගේ දෙවි විමන පිහිටා ඇත." (වායු පුරාණය( භුවන වින්යාසය - 38 කොටස)
එලෙස වායුපුරාණයේ මානස විල හඳුන්වා දී ඇත්තේ හිමාලයේ උස්ම කඳු ශිඛර අතර පිහිටි මහා විලක් ලෙසය. අතිපිවිතුරු වූ එම ජලාශය මැද උස් වූ විශාල ශිඛරයක් මත කුවේර නමැති ධනයට අධිපති දෙවියාගේ මාලිගාව පිහිටා ඇත. මේ සංකල්පය වඩාත් විචිත්රවත්ව කාලිදාසගේ මේඝදූතයේ දැකිය හැකිය. මෙම හිංදු සංකල්පය බෞද්ධ සාහිත්යය ද ඇතුළත් වී තිබේ. සූත්‍ර නිපාතයේ පරමත්ත ජෝතිය අටුවාවේ ද ආලකමන්දා සංකල්පය දැකිය හැකිය. මේ විචිත්‍ර වූත් දුක් කරදර නැති, මනෝරම්‍ය මාලිගාව හැබෑවටම ඉදිකිරීමට ඇතැම් ආසියානු පාලකයන් විවිධ යුගවලදී තැත් කර ඇත. එය පර්වත රාජ්‍ය සංකල්පය ලෙසත් හැඳින්වෙයි.
ක්රි.ව. 3-5 සියවස්වල ශ්රී ලංකාවේ මුරගල්වල "සංඛ-පද්ම" බහිරව රූප නිර්මාණය කර ඇත්තේද කුවේර සංකල්පයේ බලපෑම නිසාය. සංඛ-පද්ම බහිරවයන් කුවේරගේ නිධන් රකින බහිරවයන් දෙදෙනාය. මේ නිසා ශ්රී ලංකාවේ පාලකයන්ද ආලකමන්දාවක් තැනීමට උත්සාහ දරන්නට ඇත. සීගිරි කාශ්යපට පෙර සිටි බුද්ධදාස රජු රට සතුරන් ගෙන් මුදවාගත් ආකාර මහාවංශ කතුවරයා විස්තර කර ඇත්තේ
"වෙසමුණි රජු අලකාව රකිනා ලෙසින් නුවර රකිමින්" (මහාවංශය( 37 පරි( 106 ගාථාව)
මේ නිසා ආලකමන්දා සංකල්පය ශ්රී ලංකාවේ රජුන්ට ආදේශ කිරීම සීගිරි කාශ්යප රජුට පෙර සිටම පැවැති සිරිතකි. මෙකී ආලකමන්දාව ක්රියාවට නැංවූ පාලකයා වූයේ කාශ්යප රජු බව මහාවංශ සටහනකින්ම තහවුරු වෙයි.
"හේ තෙමේ වස්තු රැස්කොට, සුරැකිව තබා තමා තැබූ වස්තූන්ට ආරක්ෂා තබා, එහි (සීගිරියේ) දැකුම් කටයුතු සිත්කලු රජගෙයක් දෙවැනි ආලකමන්දාවක් සේ කොට වෙසමුණි මහරජහු සෙයින් එහි විසීය. (මහාවංශය, 39 පරි. 4-6 ගාථා)
මෙහිදී වෙසමුණි රජු කුවේරයා යන අරුතින් භාවිතා කර ඇති බව පෙනීයයි. මේ සටහන කියවන විට සීගිරිය මුගලන් කුමරුට ඇති බිය මුල්කරගෙන ගොඩ නැගූ බවට වෙනස් කරුණක් ඇත. එනම් "වස්තු රැස්කොට ආරක්ෂා කරවා" යන වැකි අනුව සීගිරිය ගොඩනැගීමට අවශ්‍ය ප්රාග්ධනය වසර ගණනාවක් පුරා එක් රැස්කරවා පසුව සීගිරිය ගොඩනගා ඇති බව තහවුරු වෙයි. මේ නිසා එය කලාත්මක නගරයක් මිස හුදෙක් බලකොටුවක කාර්ය ඉටුකරගත් ඉදිකිරීමක් නොවේ. මේ අදහස සනාථ කරමින් තව තවත් කරුණු මහාවංශයේ සඳහන්ය. මහාවංශයේ 39 පරිච්ඡේදයේ 10 ගාථාවේ සිට 20 ගාථාව දක්වා ඇත්තේ කාශ්යප රජු සීගිරියේ වාසය කළ ආකාරයයි. එහි අන්තර්ගත වන්නේ කාශ්යප රජු රට පුරා උයන්වතු කළ බවත්, වෙහෙර විහාර අලංකාර කළ බවත්, පොත්පත් ලියූ කලාකාමී රජෙකු බවත්ය. ඒ විස්තරය ප්රවේශමෙන් කියවූ විට ඔහුගේ පාලන කාලය ඇතුළත සාමය හොඳින් පැවති බවත් රට වැසියා සතුටින් ජීවත් වූ බවත් සිතිය හැකිය. එබැවින් කාශ්යපගේ රාජ්‍ය කාලය රජුට රටවැසියාගේ සහාය ලැබුණු විරෝධා ආකල්පවලින් තොර කාලයකි. රජු පිතෘ ඝාතකයෙකු වූයේ නම් ඔහුට මෙලෙස සැනසිල්ලේ රට පුරා කලාත්මක දේ කරමින් සුවසේ කල් ගෙවිය හැකිද? කාශ්යපගේ පියාවූ ධාතුසේන රජු සප්ත ද්රවිඩ ආක්රමණිකයන් ගෙන් රට මුදාගත් වීරයෙකි. එහෙව් වීරයකු ඝාතනය කළ පුතෙකුට රටවැසියා යහතින් සිටින්නට ඉඩදෙයිද? කාශ්යපට එරෙහිව රටේ ජනමතයක් පැවතියා නම් (රටින් පිටනොවී) මුගලන් කුමරාට එම ජනමතයට නායකත්වය දිය හැකිව තිබිණි. නමුත් පොත්පත් ලියමින් රට පුරා උයන්වතු කරමින් නිදහස් දිවියක් ගෙවූ කාශ්යපට එබඳු අභ්යන්තර විරෝධයක් නොතිබුනේ පීතෘ ඝාතකයෙකු නොවූ නිසාද? රජු සහ භික්ෂුන් අතර විරසකයක් මවා පෑවද කාශ්යප රජු ඉසුරුමුණිය අලුත්වැඩියා කර "බෝ උපුල්වන් කසුප්ගිරි වෙහෙර" ලෙස එහි නමද වෙනස්කර ඇති බව ඉසුරුමුණි ශිලා ලේඛනයකින්ම තහවුරු විය. මේ නිසා කාශ්යප රජු සහ භික්ෂුන් අතර මහාවංශ වාදීන් කියන තරම් ප්‍රතිරෝදයක් තිබී නැති බව තහවුරු වෙයි.
මේ සාමකාමී වාතාවරණය මත රජු බොහෝ සම්පත් එකතුකර පර්සියානු උද්යාන ශිල්පීන් ගෙන්වා සීගිරි උද්යාන සහ වාස්තුවිද්යා ඉදිකිරීම් කරවා ඇත. සීගිරි සිතුවම් වලට ඉතාමත් සමාන සිතුවම් ක්රි.ව. 4 සියවස පර්සියානු ප්රදේශවලින් හමුවී ඇත. කාශ්යප රජු ආලකමන්දාවක් ගොඩනැගුවේ ඔහුගේ යුගයේ තිබුණු ආර්ථික සමෘද්ධිය හා සාමය පදනම් කරගෙනය. සීගිරිය අසල තිඹිරි වැව ප්රදේශයෙන් හමුවූ ශිලා ලේඛනයකින්ද සීගිරිය ආලකමන්දාවක් ලෙස හඳුන්වා දී ඇත.
"කසබල අලකපය" (Interliner Inscription : 1972 ; S. Paranavithana)
තිබිරිවැව ශිලා ලිපිය ලිහිල් බසට නගන පරණවිතාන මහතා "කසබල" යන්නෙහි අදහස "තෙද බලැති කාශ්යප" ලෙසත් "අලකපය" යන්නෙහි අදහස "ආලකමන්දා වේ". ලෙසත් විවරණය කර ඇත. එම නිසා තිබිරිවැව ශිලා ලිපි පාඨයේ අදහස "ආලකමන්දාවේ තෙද බලැති කාශ්යප" යන් බව සිතිය හැකිය. මෙය කාශ්යප පිළිබඳ කියවුණු මහාවංශ විස්තරයට කදිමට ගැලපෙයි. කාශ්යපගේ ආලකමන්දා පිළිබඳව මහාවංශ ප්රවෘත්තිය ශිලා ලිපියකින් තහවුරු වීම පුදුම සහගතය. කාශ්යප නමැති කලාකාමී රජු පීතෘ ඝාතයකු විය හැකිද? රාජ්‍ය තුළ බලවත් වූ මිගාර සෙනවියා ගේ පෞද්ගලික පලිගැනීමක් ලෙස ධාතුසේන මරණයට පත්වීම කාශ්යප පිට පවරා ඇති බවටද අපට සැක සිතෙයි. කාශ්යප "අභිෂේක ජින නම්" වෙනත් පිළිමයකට අභිෂේක කරවා ගැනීමට උත්සාහ කළ විටෙක ධාතුසේන රජු එයට විරෝධය පා ඇති බව වංශ කතාවේම සඳහන්ය. මේ අභිෂේක ජින නමැති මහායාන වන්දනාව පිළිබඳ ඇතිවූ මතභේදය විසින් මිගාර - ධාතුසේන විරසකය ඇති වූයේද?"
මිගාර කාශ්යපගේ ද සෙනවියා ලෙස කටයුතු කර ඇත. මේ නිසා රජු ඝාතනය කර ළදරු කාශ්යපට රාජ්‍ය පවරා මිගාර පරිපාලනය ගෙන ගිය බවටද සැක සිතෙයි. මේ නිසා හිංදු සංකල්ප මිශ්‍ර වූ මහායානයට වඩ වඩාත් ළං වූ කාශ්යපට සීගිරිය ඇළ ආලකමන්දාවක් සේ ගොඩනැගීමට සිතිවිලි ඇති වූවා විය හැකිය. කාශ්යපගේ මහායාන ඇසුර බලපවත්වා ඇති බව ඉසුරුමුණියේ ආගමික ඉදිකිරීම්වල සෘංගාර කලාකෘතිවලින්ද පෙනීයයි. බුදු දහමට වෛදික සංකල්ප එබ්බවීමේ කලා රුචිය නිසා භික්ෂුන් සහ රජු අතර යම් විරසකයකට හේතුවන්නට ඇත.
සීගිරියේ සමස්ත ඉදිකිරීම ඇත්ත වශයෙන්ම ආලකමන්දාවට ඉතාමත් සමානය. සීගිරිය වටා ඇති වැව, මානස විලට සමානය. සීගිරි පර්වතය කෛලාස කූටය වැනිය. සීගිරි මාලිගාව - ආලකමන්දා නගරය වැනිය. මේ නිසා සීගිරි සිතුවම්ද එම සංකල්පයේම කොටසකි. එනම් කෛලාසය අවට අහසේ විඡ්ජුලතා (රන්වන් පැහැති) සහ මේඝලතා (වැසිවලා කුළු පැහැය) නමැති දිව්‍ය අප්සරාවන් සැරිසරයි. රුවන්වැලි සෑයේ ධාතුගර්භයේද එකී විඡ්ජුලතා මේඝලතා සිතුවම් කළ බව මහාවංශයේ සඳහන්ය. (30 පරි. 90.94 ගාථා) සීගිරි පර්වතයේ පන්සීයක් වූ අඟනන් ගේ සිතුවම් ඉහත විඡ්ජු ලතා, මේඝලතා සංකල්පයට සම්බන්ධ සුන්දර දසුනක්ම විය හැකිය.
සීගිරියෙන් පසුවත් ශ්රී ලංකාවේ පර්වත රාජ සංකල්පය අවසන් වී නැත. යාපහුවේ සුභ සෙනවියාද එම සංකල්පය අනුව යාපහුව ගොඩනැගූ බව වංශකතාවේ සඳහන්ය. එසේම ඉංදියාවේ කතියවාර් අර්ධද්වීයේත් මලයාසියාවේත් එම සංකල්පය අනුව ඉදිකළ මාලිගා අවශේෂ අදත් දැකිය හැකිය. මේ නිසා සීගිරිය ආලකමන්දාවක් සේම පීතෲ ඝාතක චෝදනාවෙන් කාශ්යප නිර්දෝෂි කරන මහා සාක්ෂියක් නොවේද?
ලලීන්ද්‍ර සන්නස්ගම,